Thursday, August 4, 2011

වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu

අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.
වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.
අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.
වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.
වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.

2 comments:

  1. macah me pol gaha nisa blog eka kiyawanna karadarai ban

    ReplyDelete
  2. මචෝ මේක එල...... පස්ටයි... :)

    ReplyDelete